සතුන්ගේ ශ්‍රවණ හැකියාව

ලොව වෙසෙන සමහර සතුන්ගේ ශ්‍රවණ හැකියාව මිනිසුන්ට වඩා බොහෝ සෙයින් ප්‍රබල යි. මින් සමහරෙකුට මිනිසෙකුට කිසි සේත්ම නොඇසෙන මට්ටමේ ඇති කුඩා හඬවල් පවා හොඳින්ම ඇසෙනවා. මේ ලොව හොඳම ශ්‍රවණ හැකියාවක් සහිත සතුන් 5 දෙනෙක් පිළිබඳ තොරතුරු යි.

සුනඛයා
සුනඛයින්ට මිනිසුනට වඩා විහිදී ගිය ශ්‍රවණ පරාසයක් පිහිටන අතර ඔවුන්ට ඉතා අඩු විපුලතාවයකින් යුතු ශබ්ද ද හොඳින් ඇසෙනවා. විශේෂයෙන් ඔවුනට මිනිස් ශ්‍රවණ පරාසයට වඩා ඉහළින් ඇති සංඛ්‍යාතවල ශබ්ද ඇසෙනවා. එමෙන්ම මිනිස් ශ්‍රවණ පරාසය තුළ පිහිටන ඉහළ සංඛ්‍යාත සහිත ශබ්ද ද ඔවුනට ඉතා ප්‍රබලව ඇසෙනවා. සුනඛයින් වයලීන් නද වැනි ශබ්දවලට උඩු බුරලන්නේ එබැවිනුයි. මෙම උඩු බිරුම එකිනෙකා අතර පණිවුඩ සම්ප්‍රේෂණය සඳහා ද ඔවුන් යොදාගන්නවා.
අලියා
අලින්ද ඉතා ඉහළ ශ්‍රවණ හැකියාවක් සහිත සතුන් කොට්ටාසයක් වෙනවා. ඔවුන්ගේ ශ්‍රවණ පරාසය හර්ට්ස් 16- 12,000 අතර වෙනවා. අලින් ඔවුන්ගේ මෙම ශ්‍රවණ හැකියාව මෙන්ම කන් පෙති ද විවිධ අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා යොදාගන්නවා. උණුසුම් කාලගුණයක් ඇති විට දාහය නිවාගැනීම සඳහා අලින් සිය කන්පෙතිවලින් 'පවන් සලාගැනීම' සිදු කරනවා. එමෙන්ම ඒවායේ ඇති විශාල වර්ගඵලය නිසා අවට පරිසරය හා අභ්‍යන්තර ශරීරය අතර තාප හුවමාරුව කාර්යයක්ෂ්මව සිදු කර ශරීරයේ තාප යාමනය කරගැනීම එම සත්ත්වයින් සිදුකරනවා. අලින්ගේ ඉතා තීව්‍ර ශ්‍රවණ හැකියාව නිසා එකිනෙකා අතර සන්නිවේදනය කිරීම, අනතුරු හඳුනාගැනීම හා ආහාර සොයාගැනීම වැනි කර්තව්‍යය ඔවුනට වඩාත් පහසු වී තිබෙනවා.
බකමූණා

නිශාචර පක්ෂියෙකු වන බකමූණන් හට ඔවුන් ගේ තියුණු පෙනීම හා තීව්‍ර ශ්‍රවණ හැකියාව බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙනවා. බකමූණෙකුට වක ගැසුණු කන් පෙති ඇති අතර ඉන් එකක් සෑම විටම අනෙකට වඩා ඉදිරියෙන් පිහිටන අතර අනෙක වඩා උස් ව පිහිටා තිබෙනවා. මේ නිසා ඔවුනට ඉතාමත් නිවැරදිව යම් හඬක් නැගෙන දුර හා දිශාව හඳුනාගත හැකි අතර ඉතා පහසුවෙන් ගොදුරු අල්ලාගත හැකි වෙනවා.
වවුලා
නිශාචර, පියාසැරිය හැකි ක්ෂීරපායී සතෙකු වන වවුලා හට, ප්‍රසිද්ධ මතය අසත්‍ය කරන අන්දමේ හොඳ දෘෂ්ටියක් තිබුණත්, සංචරණය හා ගොදුරු සොයාගැනීම සඳහා ඔවුන් වැඩිමනක්ම උපයෝගී කරගන්නේ ඔවුන්ගේ ශ්‍රවණ හැකියාව යි. ශබ්දයක් නිකුත් කොට, එය යම් මාධ්‍යයක වැදී පරාවර්තනය වීමට සලස්වා, එලෙස නැවත පැමිණෙන පරාවර්තිත තරංගයට අනුව යම් වස්තුවක් පිහිටා ඇති ස්ථානය ඔවුන්ට හඳුනා ගත හැකියි. මේ අනුව ඉදිරියේ ඇති බාධා වැනි දේ ඔවුන් හඳුනාගන්නවා.
සලබයා
සලබයින් ලොව හොඳම ශ්‍රවණ හැකියාව ඇති සත්ත්ව කොට්ඨාසය ලෙස හඳුනාගෙන තිබෙනවා. මොවුනට මේ හැකියාව ලැබී තිබෙන්නේ තමන් ආහාරයට ගන්නට එන ප්‍රධානතම විලෝපිකයා වන වවුලාගෙන් ආරක්ෂා වීමට බැව් අනුමාන කෙරෙනවා. සලබයෙකුට වවුලෙකුගේ ශ්‍රවණ පරාසයට වඩා ඉහළ සංඛ්‍යාතවල ශබ්ද ඇසීමේ හැකියාව ඇති අතර, මේ නිසා වවුලෙකුගේ දඩයමකට ලක් වීමට පෙර බේරී යාමට ඔවුනට හැකියාව තිබෙනවා.




















- Roar





Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ කඳු