වයස අවුරුදු 187 ඉබ්බා.......



මිනිසාගේ පරම ආයුෂය සඳහන් වන්නේ වසර 120ක් ලෙස යි. ලොව වෙසෙන බොහෝ ජීවී විශේෂ දරන්නේ මීට වඩා අඩු ආයුෂයක්. කෙසේ නමුත් මිනිසාට වඩා කාලයක් ජීවත් වන සත්ත්ව විශේෂ කිහිපයකුත් අපට හමුවෙනවා. ඉබ්බන් ඉන් ප්‍රමුඛතම ස්ථානයක ලා සැලකිය හැකියි. අත්ලාන්තික් සයුර මධ්‍යයේ පිහිටි ශාන්ත හෙලේනා නම් කුඩා දූපත වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ එය පළමුවන නැපෝලියන් අධිරාජ්‍යයා වසර ගණනාවක් සිරගත කොට තැබූ දූපත වීම නිසා යි. ඔහු මියගියේ 1821 වසරේ දී යි. අද වන විට තවත් අයෙකු නිසා එය ලෝක ප්‍රසිද්ධ වී තිබෙනවා. ඒ එහි වෙසෙන 'ජොනතන්' නම් යෝධ ඉබ්බා නිසා යි. අද වන විට හෙතෙම 187 වන වියට පා තබා ඇති අතර, වර්තමානය වන විට සැලකෙන්නේ ආසන්න වශයෙන් හෝ වයස තහවුරු කරන ලද, ගොඩබිම වෙසෙන වයස්ගතම සත්ත්වයා ලෙස යි. 1832 වසරේ දී ජොනතන් උපත ලබන විට නැපෝලියන් මියගොස් වසර 11ක් පමණක් ගතව තිබූ අතර, බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින කිරුළු පැළඳවූයේත් ඊට පස් වසරකට පසුව යි.
ජොනතන් මේ වන විට ගෙවමින් සිටින්නේ සිය 187 වැනි වසර යි. මේ අනුව තවත් වසරක් ඔහු නිරුපද්‍රිතව සිටියහොත් ලොව එතෙක් මෙතෙක් වාර්තා වී ඇති, නිසි ලෙස වයස තහවුරු කර තිබෙන ඉබ්බා ගේ වාර්තාව ඔහු සතු වෙනවා. ලොව මෙතෙක් වාර්තා වී ඇති වයස්ගතම ඉබ්බා ටුඉ මලිලා නම් ගැහැණු සතෙකු වන අතර, ඇය 1777 වසරේ ඉපිද 1965 වසර දක්වා පුරා වසර 188ක කාලයක් දිවි ගෙවා තිබෙනවා. මැය බ්‍රිතාන්‍ය ජාතික දේශ ගවේෂක කපිතාන් ජේම්ස් කුක් විසින් සිය අවසන් චාරිකාවේ දී ටොංගාහි රාජකීය පවුලට තෑගි කර තිබෙනවා. ජොනතන්ගේ ජීවිත කාලය තුළ ලොව වැදගත් සිදුවීම් රාශියක් සිදුවුණා. ඔහුගේ ජීවිත කාලය තුළ පළමුවන හා දෙවන ලෝක යුද්ධ දෙකම ඇති වූ අතර රුසියානු විප්ලවය ද ඇති වුණා. එමෙන්ම එම කාලය තුළ දී බ්‍රිතාන්‍ය සිහසුන 5 දෙනෙකු අතට පත් වූ අතර, ඇමෙරිකා එක්සත් ජනපදයට තේරී පත් වූ ජනපතිවරුන් ගණන 39ක්.







- Roar

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ කඳු