ශ්‍රී ලංකාවේ කඳු


කඳු, ගස්වැල්, රූස්ස වනාන්තර, ගංගා, දිය ඇළි, සාගර, වන සතුන් සපිරි සොබා දහමක හිමිකාරිය වූ මිහිතලය සැබැවින්ම සුන්දරය. තෙරක් නොපෙනෙන මහා සාගරය මෙන්ම අහස සිඹින උස්කඳු කෙසේ නම් කවුරුන් විසින් නිර්මාණය කළේදැයි මිනිසුන් විස්මිත වූහ. ඒ නිසාම ඒවා පිළිබඳව විස්තර සෙවීමටත් ඔවුහු උනන්දු වූහ. විශේෂයෙන්ම කඳු නිර්මාණය පිළිබඳව භූ විද්‍යාඥයෝ බොහෝ කරුණු සොයා ගනු ලැබූහ. වසර ලක්ෂ ගණනක් තිස්සේ පොළොව අභ්‍යන්තරයේ සිදු වුණු නොයෙක් විපර්යාසයන්වල ප්‍රතිඵලයක් ‍වශයෙන් කඳු නිර්මාණය වූ බවත් මේවා තවදුරටත් පරීක්ෂා කිරීමෙන් පෘථිවියේ ඉතිහාසය පිළිබඳ බොහෝ කරුණු සොයා ගත හැකි බවත් ඔවුහු පවසති.
ශ්‍රී ලංකාවේ පවතින භූ විෂමතා සැලකීමේදී කඳුවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ශ්‍රී ලංකාවේ කඳු පන්ති මෙන්ම හුදකලා කඳුද බොහෝමයක් දැකිය හැකිය. මීට අවුරුදු මිලියන 180කට පමණ පෙර ඇන්ටාක්ටිකාවත් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් යන ගොඩබිම් එකට යාවී පැවතුණි. පෘථිවියේ සිදුවන භූ කාරක ක්‍රියාවලියක ප්‍රථිපලයක් ලෙස ඇන්ටාක්ටිකාවෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඉහළට තල්ලු වී යන්නට විය. එහිදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව ‍යන ගොඩබිම් දෙකද එකිනෙකින් වෙන් වී ගියේය. මෙලෙස තල්ලු වීමේදී ඇති වූ තෙරපීමෙන් හා පීඩනයෙන් භූ තලයට සිදු වූ වෙනස්කම් නිසා ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය නිර්මාණය වී ඇත. අවුරුදු මිලියන 180කට පෙර සිට ශ්‍රී ලංකාවේ කඳු නිර්මාණය වීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇති බව කිව හැකිය. අදටත් භූතලයේ සිදුවන වෙනස්කම් නිසා මේ කඳුවැටි යම් මට්ටමකට උස්වෙමින් පවතින බව විද්‍යාඥයින්ගේ මතයයි. විද්‍යාත්මකව බලන කල පෘථිවි කබොල්ලේ කොටස්වල සිදුවන දීර්ඝ කාලීන චලන වල බලපෑමෙන් මෙම කඳු පන්ති නිර්මාණය වීම සිදුවේ.ලොව ප්‍රධාන කඳු පන්ති අතර ඇති රොකී, හිමාලය, අන්දීස් වැනි කඳු පන්ති නිර්මාණය වූයේ මෙලෙස පෘථිවි කබොල්ලේ කොටස්වල සිදු වූ චලන හේතුවෙනි. තවද ලෝකයේ පවතින කඳු, ගිනි කඳු ඇතුළුව විවිධ භූ කාරක ක්‍රියාකාරකම් ආදියේ ප්‍රථිඵලයක් ලෙසින්ද බිහිවී ඇත. මෙලෙස නිර්මාණය වූ ශ්‍රී ලංකාවේ කඳු අතර උසම කඳු දහ හතරක් (14) මේ වන විට විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත.
 උස       (මීටර්)  කන්ද

 2524  පිදුරුතලාගල
 2395  කිරිගල්පොත්ත
 2357  තොටුපල කන්ද
 2320  කුඩගල කන්ද
 2243  සමනල කන්ද

 2240  කිකිලියාමාන

 2216  ග්‍රේට් වෙස්ටන්
 2170  හක්ගල කන්ද
 2100            වින්ත්‍රී හිල්
 2100  මහකඩාගල
 2074  වෝටර් ෆෝල් පොයින්ට්
 2036  නමුණුකුල
 2034  ගොන්මොල්ලියකන්ද
මෙම කඳුවලට අමතරව තවත් මනරම් කඳු බොහෝ ගණනාවක් අප රටේ සුන්දරත්වය ඉහළ නැංවීම සඳහා දායකත්වය සපයයි.
පිදුරුතලාගල කන්ද
ලංකාවේ පිහිටි කඳු අතරින් උසින් වැඩිම කන්ද ලෙස සැලැකෙන්නේ පිදුරුතලාගල කන්දයි. එහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 2524 කි. මුහුදු මට්ටමේ සිට මීටර් 1800 ක් පමණ උසකින් පිහිටි නුවරඑළිය නගරය ආසන්නයේ සිට මේ කන්ද ආරම්භ වේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි මෙම කන්දට ගමන් කළ යුත්තේ නුවරඑළිය නගරය හරහාය. මහවැලි ග‍ඟෙහි අතු ගංගාවක් වන බෙලිහුල්ඔය ආරම්භ වන්නේද පිදුරුතලාගල කඳු පන්තිය ආශ්‍රිතවයි. පිදුරුතලාගල කන්ද සමීප වනාන්තරයේ දැකිය හැකි ශාක හා සතුන් අතරින් වැඩි ප්‍රමාණයක් අපේ රටට ආවේණික ඒවා වේ. දිය ඇළි රැසකින් හැඩවී ඇති මෙම කන්ද "පේද්‍රෝ කන්ද" යනුවෙන්ද හැඳින්වේ. මෙම කඳු මුහුදුනෙහි පිහිටා ඇති රූපවාහිනී කුළුණ නිසා මෙය අධිආරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇත. මේ හේතුවෙන් අද වන විට මෙම කඳු මුදුන තරණය කිරීමේ දුෂ්කරතා පැන නැගී ඇත.
කිරිගල්පොත්ත කන්ද
ලංකාවේ පිහිටි කඳු අතරින් උසින් දෙවැනි තැන ගන්නේ කිරිගල්පොත්ත කන්දයි. මෙය පිහිටා තිබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේය. මෙහි ‍උස මුහුදු මට්ටමේ සිට මීටර් 2395 ක් වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 2000 කට පමණ ඉහළින් පිහිටි හෝර්ටන් තැන්දනේ සිට මේ කන්ද ආරම්භ වේ. මෙම කන්දට යන මාර්ගය වැටී ඇත්තේද හෝර්ටන්තැන්න හරහාය. මහවැලි ගඟට ගලන ආග්රා ඔයත්, කැලණි ගඟට ගලන කෙහෙල්ගමු ඔයත් ආරම්භ වන්නේ මේ කඳු ප්‍රදේශයෙනි. මෙම කන්දේ එක් පැත්තක ගල මතු වී අව්ව වැටෙන විට මනාලෙස දිලිසෙන නිසා කිරිගල්පොත්ත යන නම මෙයට ලැබී ඇතැයි මතයක් වේ. මෙම කන්ද ආශ්‍රිතව ඉහළ කඳුකර තෙත් කලාපීය වනාන්තරවලින් යුතු හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය පිහිටා ඇත. කිරිගල්පොත්ත අවට පරිසරයේ අවට පරිසරයේ අප රටට ආවේනික පක්ෂීන්, ශාක හා සතුන් දැකිගත හැකිය.
තොටුපොළ කන්ද
ලංකාවේ පිහිටා ඇති කඳු අතරින් උසින් තෙවන ස්ථානය හිමි වන්නේ තොටුපොළ කන්දටය. එහි උස මීටර් 2357කි. එය පිහිටා ඇත්තේ හෝර්ටන්තැන්න ප්‍රදේශයේය. තොටු‍පළ කන්ද පිළිබඳව නොයෙක් ජනප්‍රවාද පවතියි. රාවණා රජු ඉන්දියාවේ රාම රජුගේ බිරිය වන සීතා දේවීය පැහැරගෙන විත් රාවණා රජුගේ දඞුමොණර වාහනය නවතා තැබූ කඳු ගැටය තොටුපළ කන්ද බව එක් ජනප්‍රවාදයකි. තොටුපළ කන්ද කුරුලු පාරාදීසය යනුවෙන්ද හැඳින්වේ.
කුඩගල කන්ද
මෙහි උස මීටර් 2320කි. වැඩි දෙනා අතර ප්‍රසිද්ධ නොවූ මෙම කන්ද උස් කඳු අතර සිව්වැනි ස්ථානය උසුලයි. මීගහකිවුල ප්‍රදේශයේ මෙය පිහිටා ඇත.
සමනල කන්ද
ලෝකයේ ආශ්චර්යමත් කඳු අතරින් අප රටෙහි පිහිටි සමනල කන්ද හෙවත් ශ්‍රීපාද කන්දට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. එය ආගමික හා ඓතිහාසික ලෙසින්ද ඉමහත් වැදගත්කමක් දරයි. මෙම අසිරිමත් කන්ද දුර අතීතයේ සිටම ජාත්‍යන්තර ප්‍රසිද්ධියකට පත්ව තිබෙන බව නොරහසකි. මෙම කන්ද ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන්ගේ මුදුන් මල්කඩයි. සුමන සමන් දෙවියන්ගේ ඇරයුමින් මෙරටට වැඩ වදාල බුදු රජාණන්වහන්සේ විසින් තමන් වහන්සේගේ වම් සිරිපතුලෙහි සලකුණක් මෙම කඳු සිරසෙහි පිහිටුවන ලදැයි මෙරට බෞද්ධයන් තුළ මහත් විශ්වාසයක් පවතී. මෙම කඳු සිරසෙහි ඇති පා සටහන ශිව දෙවියන්ගේ යන විශ්වාසයක් හින්දු බැතිමතුන් අතරේද එය ආදම්ගේ පා සලකුණකැයි යන ඇදහීමක් කතෝලික බැතිමතුන් අ‍තරේද වෙති. සමනල කන්දේ උස මීටර් 2243කි. ශ්‍රීපාද කන්ද කඳු පන්තියක් ලෙස පිහිටා තිබේ. මෙහි ගැට නිල්ලකන්ද, බානසමනල, කුණුදිය පර්වතය යන උස් කඳු මුදුන් පිහිටා ඇත. ශ්‍රීපාද කන්ද පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ගංගා හතර වන මහවැලි, කැලණි. කළු හා වලවේ යන ගංගා ආරම්භ වන්නේද සමනල කන්ද මුදුනෙනි.
කිකිලියාමාන කන්ද
පිදුරුතලාගල කන්දට බටහිරින් පිහිටා ඇති මෙහි උස මීටර් 2240කි. නුවරඑළිය - මහනුවර ප්‍රධාන මාර්ගයට ආසන්නව මෙම කන්ද පිහිටා ඇත. ‍මහවැලි ග‍ඟෙහි අතු ගංගාවක් වන ‍රම්බොඩ ඔය ආරම්භ වන්නේ කිකිලියාමන කන්දෙනි. මෙම කඳු වැටිය ආශ්‍රීතව ඉහළ කඳුකර තෙත් කලාපීය වනාන්තර දැකිය හැකියි.


උපුටා ගැනීම - http://www.e-thaksalawa.moe.gov.lk

Comments